ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

පැවිදි වීම හා සිවුරු හැරයැම ගැනයි මේ...

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික



බුදු සසුනෙහි පැවිදි බව පතන සෑම දෙනා ම සසර දුකින් මිදී නිවන් දැකීම සඳහා තමන් පැවිදි කරන්නැයි අයෑදිති. කුඩා දරුවන්ට සසර දුක්‌ ගැන වැටහීමක්‌ නොමැති වුවත්, සසර පුරුද්ද, ජීවත්වන බෞද්ධ පරිසරය, භික්‍ෂූන් සමඟ පවුලේ සබඳකම වැනි කාරණා නිසා ඔවුහු පැවිදි බවට පෙළඹෙති. කෙනෙකු පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට භික්‍ෂුන්ට බලය තිබෙන්නේ දෙමවුපිය අවසරය සහිතව ඔහු කැමැත්ත දැක්‌වුවොත් පමණි. පැවිද්ද සඳහා සංඝ සම්මුතියකින් තොරව කෙනෙකුගේ හිස කෙස්‌ කැපීම පවා පැවිදි විනයට පටහැනිය.

සාමණේරවරයකුට සිවුරෙහි රැඳී සිටීමට ඉඩ නො ලැබෙන, පැවිද්ද වැනසෙන, කාරණා දහයක්‌ දසනාසනා යනුවෙන් විනයෙහි දැක්‌වෙයි. පැවිද්ද නසා ගත් සාමණේරවරයකුට පන්සලෙහි වාසය කිරීමට හා සංඝ ලාභය භුක්‌ති විඳීමට අයිතියක්‌ නැත. නැවත සීල සමාදානයෙන් සංවරයෙහි පිහිටා පැවිදි බව තහවුරු කරගත යුතුයි. මෛථුන සේවනය, සොරකම, මිනිසකු මැරීම හා සෝවාන් බව ආදී තමන් තුළ නොමැති උතුම් මිනිස්‌ ගුණ ඇතැයි බොරු කීම යන සතර පාරාජිකාවලින් එකක්‌ හෝ සිදු කළ උපසම්පදා භික්‍ෂුව සිවුරු හැරිය යුතුය. වෙනත් විනය වැරදි සිදුකළ භික්‍ෂුන් සඳහා පබ්බාජනී කර්මය, සමනුභාෂණ කර්මය, නිස්‌සාරණ කර්මය, බ්‍රහ්මදණ්‌ඩය ආදී වශයෙන් වැරැද්දෙහි ස්‌වභාවය අනුව සිදුකෙරෙන සංඝ සම්මුති භික්‍ෂු විනයෙහි ඇතුළත් වෙයි.

අංග විකල වූවන්, රෝගාබාධයෙන් පෙළෙන්නන්, අපරාධකරුවන්, හමුදාවෙන් පැන ආ පුද්ගලයන් ඇතුළු පැවිදි නොකළ යුතු පුද්ගලයෝ තිස්‌ දෙනෙක්‌ වෙති. ඔවුන්ට පැවිදි බව පිහිටයි. නමුත් පැවිදි කරන භික්‍ෂුව වැරදි කරුවෙකි. පැවිදි නොකළ යුතු, පැවිද්ද නොපිහිටන පුද්ගලයෝ එකොළොස්‌ දෙනෙක්‌ වෙති. නපුංසකයා, ද්වීලිංගිකයා, මවුපියන් මැරූ තැනැත්තා, සංඝ භේදකයා, හොරෙන් සිවුරක්‌ පොරවාගෙන රහසිගතව අන්‍ය ලබ්ධියක්‌ සරණ ගිය තැනැත්තා ආදී වශයෙනි.

හත් හැවිරිදි විය සපිරුණ පසු ළමයකු පැවිදි බවට පත් කිරීමට විනය නීතිවලින් අවසර තිබේ. වයස්‌ගත වූවන් පැවිදි කරන්නට ද පුළුවන. එසේ වුවද, කීකරුකම, ගුරු ඇසුරෙන් බණ දහම් හැදැරීම, ගුරු උපදෙස්‌ පිළිගැනීම, දහම් දෙසීම හා විනය දැනීම යන ගති සිරිත් වයස්‌ගතව පැවිදි වූවන් තුළ දක්‌නට ලැබෙන්නේ කලාතුරකින් බව බුදුරදුන් වදාරා ඇත. පැවිදි බව සඳහා ජාති කුල භේදයක්‌ නොමැත. එහෙත් පැවිදි වූ ඇතැම් උසස්‌ කුලීනයෝ කුල මානයෙන් ක්‍රියා කරති. කුලහීන ඇතැම්හු හීනමානයෙන් පෙළෙති. නමුත් ගහපති දරුවන් පැවිදි වූ පසු මාන්නයෙන්, උඩඟුකමෙන් තොරව බුද්ධ වචනය හදාරා, ශාසනික අරමුණුවල යෙදෙන බව චුල්ලහත්ථිපදොaපම සූත්‍ර අටුවාවේ දැක්‌වේ. සමාජ අත්දැකීම් ඇසුරෙන් අටුවා ඇදුරන් ඒ අදහස ලියන්නට ඇත. බලහත්කාරයෙන් කෙනෙකු පැවිදි කිරීමත්, උපැවිදි කිරීමත් ධර්ම විනයට පටහැනි වෙයි. ඒ ක්‍රියාවන් දෙකම පුද්ගල කැමැත්ත මත සිදුවන දෙයකි. පුද්ගල කැමැත්ත හෙවත් ස්‌වච්ඡන්දතාව බුදු දහමට පමණක්‌ ආවේණික ලක්‍ෂණයකි. පන්සිල් සමාදන් වීම පවා සිය කැමැත්තෙන් සිදුවන්නකි.

බුදු සසුන ඇරඹුන මුල් යුගයේ ඇතැම් භික්‍ෂූන් දිය නෑම සිදුකළේ නිරුවතිනි. ඇතැම් භික්‍ෂූහු නිරුවතින් ගිනිහල් ගෙහි වැඩ කළහ. භික්‍ෂුන් එසේ නග්නව හැසිරීම විනය නීතිවලින් තහනම් කොට ඇත. සොරු පිරිසක්‌ වනාන්තරයකදී භික්‍ෂූන්ගේ සිවුරු උදුරා ගත්හ. නිරුවතින් ආරාමයට පැමිණි එම පිරිස ගැන දැනගත් බුදුරදුන් එවැනි ආපදාවකදී නග්නව නොසිට කොළ ඇතිරිලි, බුමුතුරුණු ආදියෙන් හෝ විලිවසා ගන්නැයි භික්‍ෂූන්ට නියම කොට ඇත. භික්‍ෂුවක්‌ සිවුරෙන් තොරව සිටීම සදාචාර විරෝධී ය. සිවුරු මැනැවින් පොරවාගෙන හැසිරෙන අයුරු සේඛියාවල සඳහන් වෙයි. නමුත් යම් හදිසි අන්තරාවක්‌, සතුරු උවදුරක්‌ හෝ අවශ්‍යතාවයක්‌ නිසා භික්‍ෂුවක්‌ තාවකාලිකව සිවුරෙන් තොරව සිටීමෙන් පැවිදි බව අහෝසි නොවෙයි.

මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් සතුරු අනතුරුවලින් මිදෙන්නට සිවුර පොදිය හිස මත තබාගෙන ගිහි ඇඳුමෙන් ගිය බවක්‌ අසන්නට ලැබේ. පැවිද්දකු සිරුරෙන් ගැලවූ සිවුරු සමීපයෙහි තබාගත යුතු බව විනයෙහි දැක්‌වේ. මෙක්‌සිකෝවේ සිටි ලාංකික බෞද්ධ පිරිසක්‌ ආගමික කටයුත්තකට භික්‍ෂුවකට ආරාධනා කළත්, කතෝලික රටක්‌ නිසා ගමන් වීසා නොලැබිණි. ඒ ගැන දැනගත් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමියන් පැවසුවේ, සිවුරු අධිෂ්ඨාන කරගෙන තාවකාලිකව උපැවිදිව ගිsහියකු ලෙස ඒ රටට ගොස්‌ සිවුරු නැවත පොරවාගෙන ඒ ආගමික කටයුත්ත ඉටුකර දෙන්න යනුවෙනි. එහි අරමුණ සිවුරු හැරීම නොවන බැවිනි. එහෙත් භික්‍ෂුවක්‌ තාවකාලිකව සිවුරෙන් මිදෙන්නේ භික්‍ෂු විනයට පටහැනි පහත් ක්‍රියාවක්‌ සඳහා නම්, එම වැරැද්දට අදාළ විනය නීති අනුව ඔහු භික්‍ෂුත්වය කෙළෙසා ගනියි. නමුත් උපැවිදි වන අදහසක්‌ නොතිබුණ බැවින්, භික්‍ෂුත්වය අහෝසි නොවේ. පිළියම් කළ හැකි වරදක්‌ නම්, එම භික්‍ෂුව විනය ප්‍රඥප්ති මගින් පැවිදි බව යථා තත්ත්වයට පත් කර ගත යුතුයි. උපසම්පදාවෙහි පිහිටුවන සාමණේරයා ගිහි බවට පත් කොට නැවත පැවිදි කෙරේ. එම පැවිද්ද උපසම්පදා විනය කර්මයෙහි කොටසකි. භික්‍ෂු සම්මුතියකි. එබැවින් සසුන් ගත අවස්‌ථාව ලෙස සැලකෙන්නේ මුලින් පැවිදි වූ දිනයයි.

පාරාජිකාපාලියේ චීවර වග්ගයේ 'තිවීවර අවිප්පවාස සම්මුතිය' නමින් තුන් සිවුරෙන් වෙන්ව සිටීම සඳහා භික්‍ෂුන්ගෙන් අවසරය ලබා ගැනීමේ විනය පිළිවෙතක්‌ තිබේ. එක්‌ රෝගී භික්‍ෂුවකට ප්‍රතිකාර සඳහා නෑයන්ගේ ඉල්ලීම අනුව නිවසට යැමට අවශ්‍ය විය. සිවුරු පොරවාගෙන එසේ කළ නොහැකි නිසා ඒ ගැන බුදුරදුන්ගෙන් විමසීය. එවිට බුදු හිමියෝ සංඝ සම්මුතියක්‌ ලබා ගන්නැයි උපදෙස්‌ දුන්හ. එහිදී සිදුකෙරෙන්නේ සිවුරු තාවකාලිකව භික්‍ෂූන්ට භාරදීමකි. සංඝ සම්මුතියකින් තොරව එක්‌ රැයක්‌ හෝ සිවුරු නොමැතිව වෙසෙන භික්‍ෂුව නිසැඟි පචිති නම් වරදට ගොදුරු වෙයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා භික්‍ෂූන්ගේ සිවුරු ඉවත් කිරීමෙන් පැවිද්දට හානියක්‌ නොවේ.

වර්තමානයේ ක්‍රියාත්මක භික්‍ෂූන්ට අදාළ නීති රීති අනුව විහාරාධිපති තනතුරු පත්කිරීම, සංඝික දේපළ භුක්‌තිය හා වෙනත් පැවිදි අයිතිවාසිකම් සඳහා භික්‍ෂුත්වයෙහි නීත්‍යානුකූල භාවය වැදගත් වෙයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීමෙන් ද, පැවිදි අයිතිවාසිකම් අහිමි වෙයි. දඬුවමට ද යටත් ය. ඇතැම් භික්‍ෂුන් තාවකාලිකව සිවුරු හැර පසු කලෙක නැවත සිවුරු දරාගෙන මුල් පැවිද්ද යටතේ භික්‍ෂු ජීවිතයක්‌ ගත කිරීම නිසා ශාසනික හා අධිකරණ කටයුතුවලදී ගැටලු මතු වී තිබේ. කිසියම් කාලසීමාවක්‌ සිවුරු හැර සිටි භික්‍ෂුවකගේ පැවිදි වූ දිනය ලෙස සැලකෙන්නේ ප්‍රථම අවස්‌ථාව ද? නැතිනම්, උපැවිදි ව සිට නැවත සිවුරු දැරූ දිනයද? යන්න භික්‍ෂූන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ අර්බුදවල දී අධිකරණයේදී අවධානය යොමු වී තිබේ.

සිවුරු හැරීම යන්න නීතියෙහි නිර්වචනය කරන්නේ භික්‍ෂූන්ට නියමිත වස්‌ත්‍රවලින් මිදී භික්‍ෂු භාවයෙන් ඉවත්ව ගිහියකු බවට පත්වීම යි. සිවුරු හැර යැම හෙවත් උපැවිදි වීම නීත්‍යානුකූල වන්නේ ස්‌වෙච්ඡාවෙන් සිදුකළහොත් පමණි. ගාල්ලේ විහාරස්‌ථානයක අධිපතිකම සඳහා භික්‍ෂුන් දෙනමක්‌ හබ කළහ. කලහේ රතනජෝති තෙරුන්ගේ ශිෂ්‍යයකු වූ විත්තිකාර භික්‍ෂුව තාවකාලිකව උපැවිදිව සිට නැවත පැවිදි වූ කෙනෙකි. පැමිණිලිකාර භික්‍ෂුව රතනජෝති තෙරුන්ගේ උපසම්පදාවෙන් ශිෂ්‍යයෙකි. විත්තිකාර භික්‍ෂුව මුලින් පැවිදි වුවත්, සිවුරු හැර නැවත පැවිදි වූ නිසා ශිෂ්‍යභාවයේ ජ්‍යෙෂ්ඨත්වය අහෝසි වී ඇත යන්න පැමිණිල්ලේ තර්කය විය. විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණ කරුණුවලින් අනාවරණය වුණේ විත්තිකාර භික්‍ෂුව සිවුරු හැරියේ පැවිදි ගුරුවරයාගේ ඉල්ලීම පරිදි. පවුලේ ඥාතීන්ගේ ඇප උපස්‌ථාන යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අදහසිනි. එබැවින් ෙච්තනාත්මකව ස්‌වෙච්ඡාවෙන් සිවුරු අත්හළ බවක්‌ තහවුරු නොවේ. එම නිසා මුල් පැවිදි බව ඡේදනය වී නැතැයි අධිකරණය විත්තිකාර භික්‍ෂුවගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිගෙන තිබේ. (සෝමරතන තෙර එරෙහිව ජිනරතන තෙර (1941) 42 නව නීති වාර්තා 361) මෙම තීරණය භික්‍ෂු විනයට ද එකඟය. මෙහිදී අවධානයට ගත යුතු තවත් කරුණක්‌ ඇත.

කිසියම් දඬුවමකට නියම වූ භික්‍ෂුවක්‌ සිරගත කිරීමේදී සිවුරු ගලවා සිරකරුවන්ට නියමිත ඇඳුමක්‌ දෙයි. එයින් නිදහස්‌ වන විට සිවුරු පොරවා ගනියි. එයින් භික්‍ෂු භාවය අහෝසි වෙයි ද? යන ප්‍රශ්නය ගුණරතන තෙරුන්නාන්සේ එදිරිව රතනපාල තෙරුන්නාන්සේ (මාතර නඩු වාර්තා 227) නඩුවේදී මතුවුණි. බන්ධනාගාර නීතිය මත මිස භික්‍ෂුවක්‌ ස්‌වේච්ඡාවෙන් තම සිවුර ඉවත් කිරීමක්‌ සිදු නොකරන නිසා එය සිවුරු හැරීමක්‌ වශයෙන් සැලකිය නොහැකි යෑයි එහිදී නිගමනය කර ඇත.

ගල්කිස්‌ස උසාවියේ පැවැති කුසලඥාණ තෙර එදිරිව අස්‌සජී තෙර (2005 - 1 නීති වාර්තා 281) නඩු විභාගයේ දී භික්‍ෂුවක්‌ විහාරාධිපති තනතුරක්‌ වෙනුවෙන් පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය. පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂුවක්‌ තමන්ට එම විහාරාධිපතිකම උරුම බව අධිකරණයට පැවැසීය. එම ඉල්ලීම ද පැමිණිල්ලට ම ගොනු විය. විත්තිකාර භික්‍ෂුව කියා සිටියේ එම මුල් පැමිණිලිකාර භික්‍ෂුව 1998 වසරේ සිවුරු හැර ගිහි නමකින් ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගත් බවයි. ඒ බව සාම විනිසුරු ප්‍රකාශයකින් තහවුරු විය. එම භික්‍ෂුව නැවත සිවුරු දරාගෙන 1999 වසරේ පැමිණිල්ලේ පාර්ශ්වකාර ශිෂ්‍ය භික්‍ෂුව පැවිදි කර ඇත. අධිකරණ තීරණය වුණේ සිවුරු හැරීම ෙච්තනාත්මකව සිදු කළ නිසා නැවත සිවුරු දරාගෙන භික්‍ෂුවක්‌ ලෙස සිටීම වලංගු නොවන බවයි. එසේ සිටිමින් ඔහු පැවිදි කළ ශිෂ්‍යයාට ශිෂ්‍යභාවයක්‌ නොමැත.

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X